Home >  Stories > 

වගකීමකින් තොර තොරතුරු: ශ්‍රී ලංකාවේ සිංහල සහ දමිල භාෂා යොදා ගනිමින් අන්තර්ජාලය භාවිතා කිරීම

වගකීමකින් තොර තොරතුරු: ශ්‍රී ලංකාවේ සිංහල සහ දමිල භාෂා යොදා ගනිමින් අන්තර්ජාලය භාවිතා කිරීම

ශ්‍රී ලංකාව විවිධ භාෂාවන් කතා කරන, විවිධ ජන කොට්ඨාශ වලට අයත් කණ්ඩායම් රාශියකට නිවහනයි. සිංහල සහ දමිල භාෂා ශ්‍රී ලංකාවේ ජාතික භාෂා වේ. මෑත කාලීන අධ්‍යනයයන්ට අනුව ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය භාවිතා කරන පුද්ගලයන් මිලියන 7.3 කි. දැනට එයින් මිලියන 6.2ක් සමාජ මාධ්‍යය භාවිතා කරයි. ශ්‍රී ලංකාවේ ඇතැම් ඇතැම් ගම් වල  ඇත්තෙන්ම අන්තර්ජාලය ලෙස හඳුනා ගන්නේ සමාජ මාධ්‍යයයි: ගමක ජීවත්වෙන කෙනෙකුගෙන් අන්තර්ජාලය ගැන දන්නවා දැයි ඇසූ විට ඔවුන් නැතැයි කීවද, ඔවුන් එෆ්බී එකේ ඉන්නා බව කීමට ඉඩ ඇත.

We see a person’s left hand reaching towards a purple keyboard with black keys. On the keys are bright Sinhala characters. Vines and sprouting plants wind through the spaces between the keys and reach over the edge of the keyboard and out of frame.
Illustration by Maggie Haughey

ශ්‍රී ලංකාව විවිධ භාෂාවන් කතා කරන, විවිධ ජන කොට්ඨාශ වලට අයත් කණ්ඩායම් රාශියකට නිවහනයි1. සිංහල සහ දමිල භාෂා ශ්‍රී ලංකාවේ ජාතික භාෂා වේ2. මෑත කාලීන අධ්‍යනයයන්ට අනුව ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය භාවිතා කරන පුද්ගලයන් මිලියන 7.3 කි. දැනට එයින් මිලියන 6.2ක් සමාජ මාධ්‍යය භාවිතා කරයි. ශ්‍රී ලංකාවේ ඇතැම් ඇතැම් ගම් වල  ඇත්තෙන්ම අන්තර්ජාලය ලෙස හඳුනා ගන්නේ සමාජ මාධ්‍යයයි: ගමක ජීවත්වෙන කෙනෙකුගෙන් අන්තර්ජාලය ගැන දන්නවා දැයි ඇසූ විට ඔවුන් නැතැයි කීවද, ඔවුන් එෆ්බී එකේ ඉන්නා බව කීමට ඉඩ ඇත. ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍යය භාවිතා කරන්නන් ගෙන් බහුතරයක් අන්තර්ජාලයට ප්‍රවේශ වන්නේ ජංගම දුරකථන හරහායි. ශ්‍රී ලංකාවේ ඇති ජංගම දුරකථන සම්බන්ධතා ගණන රටේ ජනගහනය ඉක්මවයි3.

Figure 1
Population in Sri Lanka (20.98 million) and the number of mobiles users (28.71 million), and facebook (6 million), instagran (1.1 million), and twitter (182.5 thousand) users.

අන්තර්ජාලය භාවිතා කරන්නන් ගණන දිනෙන් දින ඉහල ගියද, අන්තර්ජාලය තුල දේශීය භාෂාවන්ගෙන් ලබා ගත හැකි තොරතරු සීමා සහිත වේ. ශ්‍රී ලංකා රජය විසින් රාජ්‍ය තොරතුරු සේවාවක් පිහිටුවා ඇත. මේ හරහා සිංහල, දමිල, ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම තොරතුරු ලබා ගත හැකිය. කෙසේ වෙතත් රාජ්‍ය ආයතන රැසක වෙබ් පිටු වල දේශීය භාෂා වලින් තොරතුරු නැත. ජන සංගණන දෙපාර්තමේන්තුවේ නිල සිංහල වෙබ් පිටුවේ සිංහලෙන් පෙන්නුම් කරන්නේ මාතෘකා පමණි. නිල දමිල වෙබ් පිටුවේ මාතෘකා හෝ නැත4. ශ්‍රී ලංකාවේ භාෂා ප්‍රතිපත්තිය පිලිබඳ වූ චක්‍ර ලේඛන අන්තර්ජාලයේ ඇත්තේ ඉංග්‍රීසියෙන් පමණි5.  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිල වෙබ් පිටුවේ ඇති වැඩ නොකරන සම්බන්ධක (links) ප්‍රධාන මානව හිමිකම් ගිවිසුම් සිංහලෙන් කියවීමට හැකියැයි, ඉතා සුළු මොහොතකට, බලාපොරොත්තුවක් ලබා දෙයි6

ශ්‍රී ලංකාවේ නීති සහ නඩු තීන්දු පරිශීලනය කිරීමට අනර්ඝ වෙබ් අඩවියක් අධිකරණ අමාත්‍යාංශය විසින් නිර්මාණය කර ඇත. නමුත් මෙහිදී පවා කිසිදු නීතියක් හෝ නඩු තීන්දුවක් දේශීය භාෂාවන්ගෙන් කියවීමට නොහැක. අභියාචනා අධිකරණයේ මෙන්ම මහාධිකරණයේ කටයුතු සිදු කරන්නේ ඉංග්‍රීසියෙනි. දේශීය භාෂාවන්ගෙන් කටයුතු කරන පහළ අධිකරණ මෙම තීන්දු වලින් බැඳී සිටී. නමුත් අභියාචනා අධිකරණයේ සහ  මහාධිකරණයේ තීන්දු, දේශීය භාෂා වලට පරිවර්තනය නොකෙරේ. එසේම නීති සම්බන්ධයෙන් ගත් විට, සිංහල, දමිල, හෝ ඉංග්‍රීසි පිටපත් අතර යම් වෙනසක් ඇත්නම්, මූලිකත්වය ගන්නේ සිංහල පිටපත බව මෑත කාලයේ හඳුන්වා දුන් පනත් සියල්ලන්ගේම දැක්වේ. එනමුත් පනත් වල සිංහල පිටපත් අන්තරජාලයේ සොයා ගැනීමට හැකිවෙන්නේ කලාතුරකිනි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ සංවාද බොහෝ දුරට සිදු වන්නේ ඉංග්‍රීසියෙනි. ලිබරල් දේශපාලන මත දරන ආචාර්යවරුන්, පර්යේෂකයන්, දේශපාලන විචාරකයන් සහ මාධ්‍ය ක්‍රියාකාරීන් සාමාන්‍යයෙන් තෝරාගන්නා සමාජ මාධ්‍යය ට්විටර් (Twitter) බව පෙනෙන්නට ඇත. මේ සංවාද වෙන්නේ ඉංග්‍රීසියෙනි. මෙවන් කණ්ඩයම් මානව හිමිකම් සම්බන්ධයෙන් ධනාත්මක මත දරයි. අන්තර්ජාලය තුල මෙවන් සංවාද සිංහල සහ දමිල භාෂාවන් වලින් සිදු කිරීමට විකල්ප මාධ්‍යය කණ්ඩායම් උත්සහ දැරුවද, ඔවුන්ගේ ශ්‍රාවක පිරිස සීමිත වේ7

විශේෂයෙන්ම ස්ත්‍රීවාදී ලිපි සහ තොරතුරු සිංහල සහ දමිල භාෂා වලින් සොයා ගැනීමට අපහසුය. කාන්තා සංවර්ධන පදනම 1983 සිට කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන ග්‍රාමීය කාන්තා සංවිධානයකි. ඔවුන් ද සමාජීය, දේශපාලන, ආර්ථික ගැටළු පිළිබඳ ලියවන ස්ත්‍රීවාදී ලිපි සහ තොරතුරු අන්තර්ජාලය හරහා බෙදා හැරීම ආරම්භ කලේ 2019 වසරේ දී පමණි8. ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ කණ්ඩායම් රැසක් දේශීය භාෂාවන්ගෙන්  ස්ත්‍රීවාදී සංවාද සිදු කලද9, අන්තර්ජාලය, විශේෂයෙන්ම සමාජ මාධ්‍යය, අදටත් කාන්තාවන්ට එදිරිවාදී අවකාශයන් ලෙස පවතී. 

මෙවන් එදිරිවාදීකම් වලට දායක වන මූලික කරුණක් වන්නේ අන්තර්ජාලය තුල, විශේෂයෙන්ම ෆේස්බුක් තුල සිංහල සහ දමිල බසින් කරන ප්‍රකාශයන් අධීක්ෂණය කිරීමට නිසි පිළිවෙතක් නොමැති වීමයි. මේ නිසා ෆේස්බුක් තුල වගකිය යුතු බවින් තොර ප්‍රකාශ සිදු කිරීමට හැකියාව ඇත. 

මීට වසර කිහිපයකට පෙර, පාසල් ශිෂ්‍යාවන්ව දූෂණය කර ඝාතනය කිරීමට ප්‍රසිද්ධියේ අනුබල දුන් ෆේස්බුක් පිටුවක් මහත් විවේචනයට ලක් විය. 2018 වසරේදී මාර්ක් සකර්බර්ග් වෙත ලිපියක් යොමු කල සිවිල් සමාජ සංවිධාන කණ්ඩායමක් ඉල්ලා සිටියේ ෆේස්බුක් ප්‍රජාමාන (community standards) නිසි ලෙස බලාත්මක කරන ලෙසයි. ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට අනුග්‍රහය දැක්වූ ප්‍රකාශ රැසක්ම ෆේස්බුක් ප්‍රජාමාන උල්ලංඝනය නොකරන බවට ෆේස්බුක් සැළකු අවස්ථා ගණනාවක් පිළිබඳව මෙම ලිපියේ සඳහන් කර තිබිණි10. අනතරුව ෆේස්බුක් කියා සිටියේ ඔවුන් ප්‍රජාමාන නිසි ලෙස බලාත්මක කිරීමට වහා ක්‍රියාමාර්ග ගන්නා බවයි11. කෙසේ වෙතත් ෆේස්බුක් දෙස බැලූ විට පෙනී යන්නේ කාන්තාවන්ගේ සහ ගැහැණු ළමුන්ගේ කැමැත්ත නැතිව ඔවුන්ගේ ඡායාරූප බෙදාහැරීම වෙනුවෙන්ම පවතින පිටු අදටත් ඇති බවයි. මෙම ඡායාරූප බෙදා හැරෙන්නේ කාන්තාවන්ට අවමන් කරන, අසභ්‍ය ප්‍රකාශ සමගයි.  

Figure 2
ෆේස්බුක් තුල ඇති ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය: කාන්තාවන්ගේ සහ ගැහැණු ළමුන්ගේ කැමැත්ත ලබාගැනීමෙන් තොරව ඔවුන්ගේ පින්තූර බෙදා හරින පිටු. බොහෝ අවස්ථා වලදී කාන්තාවන් සහ ගැහැණු ළමුන් 'බඩු' ලෙස සඳහන් වේ. මේ කාන්තාවන් සහ ගැහැණු ළමුන් චරිතවත් නොවන බවත්, 'පාවිච්චි' කල හැකි භාණ්ඩ බවත් මෙයින් හැඟවේ. වම් කොනේ පෙන්වා දෙන ෆේස්බුක් පිටුව පින්තුර වල සිටින කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට තමා සිදු කිරීමට කැමති ලිංගික ක්‍රියා ලියා දැක්වීමට ෆේස්බුක් ගිණුම් හිමියන්ට ආරාධනා කරයි.

මේ අතර, ෆේස්බුක් තුල හමුවන ජාතිවාදී වෛරී ප්‍රකාශන වල බරපතලකම 2014 වසරේ ප්‍රකාශිත අධ්‍යනයකින් පෙන්නුම් කෙරිණි. වෛරී ප්‍රකාශන සිංහල භාෂාවෙන් ලියවී ඇති හෙයින් බොහෝ අවස්ථා වල ෆේස්බූක් මේවා වෛරී ප්‍රකාශන ලෙස හඳුනාගැනීමට අසමත් වන බව මෙම අධ්‍යනය පෙන්වීය12.  2018 මාර්තු මාසයේදී නුවර ආසන්න ප්‍රදේශවල මුස්ලිම් ප්‍රජාව ප්‍රචණ්ඩකාරී වෛරී ප්‍රහාරයන්ට ලක් වීය. මේ කාලයේ ෆේස්බූක් තුල ජාතිවාදය ඇවිස්සූ පුද්ගලයන්ට එරෙහිව පියවර නොගැනීම හේතුවෙන් ෆේස්බූක් විවේචනයට ලක්වීය13. නුවර සිදුවීම් වලට දින කිහිපයකට පෙර ආහාර වලට ‘වඳ පෙති’ දැමූ බවට වෙළඳසැල් හිමියෙක්ට චෝදනා කරන වීඩියෝ පටයක් අන්තර්ජාලයේ පැතිරී ගොස් තිබිණි14. මෙම චෝදනා අසත්‍ය බව පසුව සොයා ගැනිණි15. වඳභාවය ඇතිකරන එවන් ද්‍රව්‍යයක් නොමැති බව විශේෂඥවරුන් තහවුරු කලද, ආහාර සමග මිශ්‍ර කල විට වඳභාවය ඇතිකරන ‘වඳ පෙති’ නම් මිත්‍යාව, සත්‍ය බවට විශ්වාස කරන පුද්ගලයින් අදටත් සිටී. මේ ‘වඳ පෙති’ භාවිතා කර ජාතියක් වඳ කිරීමට හැකි බව ඔවුන්ගේ මතයයි. නුවර ආසන්නයේ ප්‍රචණ්ඩත්වය දිගහැරුණු පසු ශ්‍රී ලංකා ආණ්ඩුව සතියකට ෆේස්බුක් තහනම් කළේය16. ජාතිවාදය සම්බන්ධයෙන් වැඩි දියුණු කල පියවර ගන්නා බවට ෆේස්බුක් පොරොන්දු වූවද17, 2019 මැයි මාසයේදී නැවත ජාතිවාදය ඇවිස්සීමට ෆේස්බුක් යොදා ගැනිණි. සමාජීය සහ ආර්ථික ගැටළු පිළිබඳව ෆේස්බුක් තුල සිදුවන සාකච්ඡාවලදී ජාතිවාදය මෙන්ම වෛරී ප්‍රකාශන දැකිය හැකිය. ජාතීන් අතර ගැටුම් ඇතිකරවන සුළු ප්‍රකාශ ඕනෑ තරම් අදටත් ෆේස්බුක් තුල දැක ගත හැකිය.  

Figure 3
ෆේස්බුක් හි හමුවන ජාතිවාදී වෛරී ප්‍රකාශ: 1) ඉන්දියාවේ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නැත. ශ්‍රී ලංකාවෙත් මේ දේ කරන්න ඔබ සූදානම් දැයි අසන පින්තූරයක්. 2) භික්ෂූන්ට ගැරහීම වෙනුවෙන් නිරයේ ඇති දඬුවම් විස්තර කරයි. පින්තූරයේ මුස්ලිම් පුද්ගලයෙක් පෙන්වයි. 3) 'ශාක්‍ය වංශ පරපුරේ' 'සිංහල සුජාත දරුවන්' බිහිකරන්නට අමතක කරන්න එපා යයි කියන පින්තුරයක්. 4) මුස්ලිම් ප්‍රජාව සිංහල මවුවරු වඳ භාවයට පත් කර ඇති යන මිත්‍යාව පතුරවයි.

ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍යය වෛරයෙන් සහ අසත්‍යයෙන් ගහන වී ඇති අතර, ප්‍රධාන පෙලේ ප්‍රවෘත්ති මාධ්‍යය අනන්‍යතාව පදනම් කරගත් දේශපාලනය ඔස්සේ බෙදී පවතී. ඔබ කියවන්නේ සිංහල බසින්ද දමිල බසින්ද යන්න අනුව ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති වෙනස් වේ. මෙය අන්තරාජාලයටද පොදු ලක්ෂණයකි. උදාහරණයක් ලෙස 2019 වසරේ අගෝස්තු මාසයේදී නව හමුදාපතිවරයෙක් පත් කල අවස්ථාවේදී දමිල මාධ්‍යය ඔහු ‘යුධ අපරාධ චෝදනා ලැබුවෙකු’ යැයි සඳහන් කල අතර සිංහල  මාධ්‍යය ඔහු පිළිබඳව සඳහන් කලේ ‘රණවිරුවෙක්’ ලෙසයි18. Divide.lk නම් වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති වාර්තා නිරීක්ෂණය කර මේ අයුරින් වාර්තා බෙදී පවතින අවස්ථා ගෙනහැර දක්වයි. භාෂාව අනුව ශ්‍රී ලංකාවේ ප්‍රජාව දෙකඩ වීමට ඍජු හේතුවක් ලෙස දේශපාලන තීරණ හඳුනාගත හැකිය. 1956 දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පීඩාකාරී සිංහල භාෂා පනත හඳුන්වා දීමත් සමග රටෙහි බහුතරයේ භාෂාව සුළු කණ්ඩායම් මත පැටවිණි. සිංහල, රටෙහි එකම රාජ්‍ය භාෂාව බවට පත් වීය19. ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාවක් ලෙස දමිල භාෂාව හඳුනා ගැනුනේ 1987දීය20

දේශීය භාෂා වලින් අන්තර්ගතය නිර්මාණය කිරීම, අන්තර්ජාලය හරහා දේශීය භාෂා වලින් තොරතුරු ලබා ගැනීම තරම්ම අභියෝගාත්මකය. සිංහල සහ දමිල  අක්ෂර සහිත යතුරුපුවරු දුර්ලභය. අපේ දෙමව්පියෝ කුඩා සිංහල අකුරු මුද්‍රණය කර, ඒවා කපා, යතුරු පුවරුවේ තිබූ ඉංග්‍රීසි අකුරු ලඟින් ඇලවූහ. සිංහල අකුරු වර්ග (fonts) රාශියක් තිබුනද හොඳින්ම වැඩ කරන්නේ සිංහල යුනිකෝඩ් අකුරු  වේ.  

Figure 4
Correctly and incorrectly Sinhala characters displayed using different fonts.

සිංහල යුනිකෝඩ් අකුරු සම්බන්ධයෙන් ඇති ප්‍රධාන ගැටළුවක් නම් අකුරක් සෑදීම සඳහා අවශ්‍යය විවිධ වූ ‘පිලි’ ඇතුලත් කල යුතු අනුපිළිවෙළයි. මෙම අනුපිලිවෙලට අනුව පිලි ව්‍යාංජනාක්‍ෂර වලට පසුව ඇතුලත් කල යුතුය. ලතින් අක්ෂර මත පදනම් වූ යුරෝපීය භාෂාවල රීතිය මීට සමාන වේ. කෙසේ වෙතත් සිංහල භාෂාව ලිවීමේදී ඇතැම් අවස්ථා වල පිලි (උදාහරණයක් ලෙස, කොම්බුව)  ව්‍යාංජනාක්‍ෂර වලට පෙර ලිවිය යුතු වේ. 

ඒ අතරම, සිංහල  යුනිකෝඩ් සිත්ගන්නාසුලු බැඳි අකුරු කිහිපයක් ඇතුළත් කිරීමට ඉඩ නොදේ: 

Figure 5
Sinhalese characters.

යතුරුපුවරු බොහොමයක් හඳුනා නොගැනීම නිසා අභාවයට යමින් පවතින අකුරකි මේ:  

Figure 6
Sinhalese character.

මෙම අකුරු Adobe  Photoshop වැනි වැඩ සටහන් වලද හරියටම ක්‍රියා කරන්නේ නැත. පිලි නිසි තැන රැඳෙන්නේ නැත. මේ නිසා පින්තූර නිර්මාණය වෙහෙසකර වේ. ඔබට කළ හැකි දෙය නම්, ගූගල් ආදාන මෙවලම් භාවිතයෙන් ඔබේ වචන ලියා, එය Pages වැනි මෘදුකාංගයක් උපකාරයෙන් PDF එකක් ලෙස සේව් කර, Photoshop හි රූපයක් ලෙස විවෘත කර,  මැජික් දණ්ඩ මෙවලම භාවිතයෙන් අකුරු තෝරා ගැනීමයි. 

Figure 7
Sinhala Unicode in Adobe
යුනිකෝඩ් අකුරු Adobe වැඩසටහනක

මෙවලම් නොමැතිවීම සහ ලබා ගත හැකි මෙවලම්වල සංකීර්ණතාවය හේතුවෙන් අන්තර්ජාලය වෙනුවෙන් දේශීය භාෂාවලින් තොරතුරු නිර්මාණය කිරීම අභියෝගයක් වේ. දේශීය භාෂා වලින්  අන්තර්ගතය නිර්මාණය කිරීම සඳහා විශේෂ මෙවලම් සහ කුසලතා අවශ්‍ය වේ. මෙම අභියෝගය අන්තර්ජාලයේ සිංහල සහ දමිල බසින් ප්‍රගතිශීලී තොරතුරු අඩු වීමට හේතුවක් වේ.

අන්තර්ජාලයේ සිංහල සහ දමිල බසින් ස්ත්‍රීවාදී, මානව හිමිකම් හිතකාමී, සහ ගෞරවනීය තොරතුරු සහ මත අඩු වීම  නිසා, ප්‍රධාන වශයෙන් දේශීය භාෂා යොදාගනිමින් භාවිතා වන අවකාශ, කාන්තාවන්ට, සමරිසි සහ සංක්‍රාන්ති ප්‍රජාවන්ට, සහ සුළුතර ප්‍රජාවන්ට එදිරිවාදී වේ. රිනාත්මක ඒකාකෘති වලින් දූෂණය වී ඇති ප්‍රධාන ධාරාවේ ආඛ්‍යානයට අභියෝග කරන ඩිජිටල් මාධ්‍යය වල පැහැදිලි අඩුවක් පවතී. මෙය අන්තර්ජාලය  හරහා වෛරී ප්‍රකාශ මෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ සහ ලිංගික ආකාරයේ ප්‍රචණ්ඩත්වය උග්‍ර කරයි. 

වෛරී ප්‍රකාශ මෙන්ම අන්තර්ජාලය සම්බන්ධයෙන් ඇති තවත් ප්‍රධාන ගැටළුවක් නම් සමාජ මාධ්‍යවල වේගයෙන් පැතිරෙන අසත්‍ය පුවත් ය. ශ්‍රී ලංකාවේ, අසත්‍ය පුවත්  අන්තර්ජාලය හරහා පැතිර යන්නේ ලැව් ගින්නක් මෙනි. අපගේ මෑත කාලීන අත්දැකීම් පෙන්නුම් කරන ආකාරයට, අන්තර්ජාලය හරහා පැතිරෙන වෛරය සහ ප්‍රචණ්ඩත්වය පහසුවෙන් සැබෑ හා ශාරීරික ප්‍රචණ්ඩත්වය බවට පරිවර්තනය වීමට ඉඩ ඇත. 

අන්තර්ජාලය තුල නිර්නාමිකව හැසිරීමට හැකි නිසා, අන්තර්ජාලයේ කරන දේ සම්බන්ධයෙන් දඬුවවම් නොලැබේ ය යන හැගීම ඇති වීම සාමාන්‍ය ය. ඇත්ත වශයෙන්ම, ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය හරහා සිදු කරන ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට සහ ජාතිවාදය ඇවිස්සීමට දඬුවම් ලැබෙන්නේ ම නැති තරම්ය. මේ නිසා වගකීමකින් තොරව තොරතුරු බෙදා ගැනීමට පුද්ගයන් පෙළඹේ. අන්තර්ජාලයේ සිදු කරන පද්ධතික මෙන්ම නිම නොවන ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට සහ ජාතිවාදය ඇවිස්සීමට එරෙහිව නිසි පියවර නොගැනීම හේතුවෙන්, සමානාත්මතාවයට සහ නීතියේ ආරක්ෂාවට ඇති ජනතාවගේ මූලික අයිතිවාසිකම උල්ලංඝනය වේ. 


  1. ජන හා නිවාස සංගණනය, සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, 2012. http://www.statistics.gov.lk/PopHouSat/CPH2011/Pages/Activities/Reports/FinalReport/FinalReportE.pdf. ප්‍රවේශ වූයේ 2011/12/01 ↩︎

  2. 1987 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය. https://www.lawnet.gov.lk/1947/12/31/thirteenth-amendment-to-the-constitution-2/ ↩︎

  3.  Datareportal https://datareportal.com/reports/digital-2017-sri-lanka?rq=sri%20lanka. ප්‍රවේශ වූයේ 01/12/2019 ↩︎

  4. සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව http://www.statistics.gov.lk/page_si.asp?page=health. ප්‍රවේශ වූයේ 2016/12/01 ↩︎

  5. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව http://www.languagesdept.gov.lk/web/exam/index.php?option=com_content&view=article&id=5&Itemid=134&lang=en#circulars. ප්‍රවේශ වූයේ 01/12/2019 ↩︎

  6. මානව හිමිකම් කොමිෂන් සභාව http://www.hrcsl.lk/sinhala/?page_id=245. ප්‍රවේශය වූයේ 2013/12/01 ↩︎

  7. බලන්න https://www.vikalpa.org, https://www.bbc.com/sinhala/topics/cg7267dz901t, https://ravaya.lk, https://www.anidda.lk/, සහ https://sinhala.srilankabrief.org↩︎

  8. ලිපි බලන්න අත්වැල — Women’s Development Foundation facebook page↩︎

  9. බලන්න http://www.bakamoono.lk, https://www.facebook.com/womenandmediacollective/, https://www.facebook.com/dedunu.sanwada/, https://www.facebook.com/EQUALGROUND/, සහ https://www.bbc.com/sinhala ↩︎

  10. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, “ෆේස්බුක් වෙත විවෘත ලිපියක්: ඔබේම ප්‍රජා ප්‍රමිති ක්‍රියාත්මක කරන්න” 10/04/2018 https://www.cpalanka.org/open-letter-to-facebook-implement-your-own-community-standards/. ප්‍රවේශ වූයේ 01/12/2019 ↩︎

  11. ප්‍රතිපත්ති විකල්ප කේන්ද්‍රය, “ශ්‍රී ලංකා සිවිල් සමාජයේ විවෘත ලිපියට ෆේස්බුක් ප්‍රතිචාර දක්වයි” 12/04/2018 https://www.cpalanka.org/facebook-responds-to-open-letter-from-sri-lankan-civil-society/. ප්‍රවේශ වූයේ 19/12/2019 ↩︎

  12. ශිල්පා සමරතුංග සහ සංජනා හත්තොටුව, Liking violence: A study of hate speech on Facebook in Sri Lanka,  ප්‍රතිපත්ති විකල්ප කේන්ද්‍රය, 2014 https://www.cpalanka.org/wp-content/uploads/2014/09/Hate-Speech-Final.pdf. Accessed on 01/12/2019 ↩︎

  13.  “මාරාන්තික කෝලාහලවලින් පසු වෛරී ප්‍රකාශ පිළිබඳව ශ්‍රී ලංකාව ෆේස්බුක් වෙත චෝදනා කරයි”, ද ගාඩියන්, 14/03/2018 https://www.theguardian.com/world/2018/mar/14/facebook-accused-by-sri-lanka-of-failing-to-control-hate-speech. ප්‍රවේශ වූයේ 01/12/2019 ↩︎

  14. ‘වඳ පෙති’ මතභේදයෙන් පසු අම්පාරේ ගැටුම්', ද සන්ඩේ ඔබ්සර්වර්, http://www.sundayobserver.lk/2018/03/04/news/tension-ampara-after-fake-‘sterilization-pills’-controversy. ප්‍රවේශ වූයේ 6/02/2020 ↩︎

  15. ‘අම්පාර: වඳ භාවය ඇති කරන ද්‍රව්‍යය නොවේ, පිටි ගුලි- රජයේ රසපරීක්ෂක’, ඩේලි මිරර්, http://www.dailymirror.lk/article/Ampara-Carbohydrate-clumps-not-sterilizing-chemical-Govt-Analyst-146954.html. ප්‍රවේශ වූයේ 06/02/2020 ↩︎

  16. ‘ශ්‍රී ලංකාව වාර්ගික ගැටුම් වලින් පසු පැනවූ ෆේස්බුක් තහනම ඉවත් කරයි’, රොයිටර්ස්, 16/03/2018 https://www.reuters.com/article/us-sri-lanka-clashes-socialmedia/sri-lanka-lifts-ban-on-facebook-imposed-after-spasm-of-communal-violence-idUSKCN1GR31R. ප්‍රවේශ වූයේ 01/12/2019 ↩︎

  17. ‘මාරාන්තික ෆේස්බුක් පානය: ශ්‍රී ලංකාවේ වෛරී ප්‍රකාශ සහ අසත්‍ය තොරතුරු, Readme.lk, 14/05/2019 https://www.readme.lk/facebook-hate-speech-misinformation-sri-lanka/. ප්‍රවේශ වූයේ 01/12/2019 ↩︎

  18. Divide.lk http://divide.lk/shavendra-silva-a-war-hero-for-the-sinhala-press-an-accused-war-criminal-for-the-tamil-press/. ප්‍රවේශ වූයේ 01/12/2019 ↩︎

  19. 1956 අංක 33 දරන රාජ්‍ය භාෂා පනත https://www.lawnet.gov.lk/1947/12/31/official-language-2/ ↩︎

  20. 1987 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය https://www.lawnet.gov.lk/1947/12/31/thirteenth-amendment-to-the-constitution-2/ ↩︎